Tamil-Sri LankaEnglish (United Kingdom)
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තක්ෂණික අධ්‍යාපනික දැනුම සහ පුහුණුව ලබාදෙන ආයතනය.
මුල් පිටුව අප ගැන හැදින්වීම

හැදින්වීම

ශ්‍රී ලංකාවේ තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය

ශ්‍රී ලංකාවේ විධිමත් කාර්මික අධ්‍යාපනය සඳහා වූ ප්‍රථම ආයතනය 1893 අග භාගයේදී පිහිටුවන ලදී. රජයේ කාර්මික පාසල යනුවෙන් මෙම ආයතනය හඳුන්වන ලද අතර, මැදකොළඹ මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග නිමා ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අලුත්වැඩියා කරනලද කෝපි ගබඩා ගොඩනැගිල්ලක මෙය පවත්වන ලදී. මෙම ආයතනය කුඩා කම්හලකින්ද, පර්යේෂණාගාරයකින්ද, දේශන ශාලාවකින් හා පන්ති කාමරයකින්ද සමන්විත වූ අතර පළමුවරට බඳවාගන්නා ලද ශිෂ්‍ය කණ්ඩායම 25 දෙනෙකුගෙන් පමණ සමන්විත විය.

මෙම කාර්මික පාසල පසු කලෙක ශ්‍රී ලංකාවේ විද්‍යා ආයතනය සඳහා වූ පුරෝගාමී ආයතනය බවට පත්විය. ලංකා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට පෙර වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාවද සමග පන්ති පවත්වන ලද්දේ ලංකා තාක්ෂණික විද්‍යාලයේදීය. පාසල් ගුරුවරුන් සඳහා විද්‍යා පාඨමාලාද පවත්වන ලද අතර ඔව්හුද පොදු අධ්‍යාපන ක්‍රමය තුල විද්‍යාව ඉගැන්වීමේ පුරෝගාමී වූහ.

1906 දී තාක්ෂණ පාසලෙහි නම ලංකා කාර්මික විද්‍යාලය යනුවෙන් වෙනස්කරනු ලැබීය. මේ වන විට මෙම විද්‍යාලය විසින් තාක්ෂණයේ නිපුණ වූවන් සම්පාදනය කිරීම අරඹා තිබුන අතර, රජයේ තාක්ෂණික දෙපාර්තමේන්තු සඳහාද නිපුණතා ඇති කාර්මිකයින් සම්පාදනය කරමින් තිබේ. සිවිල්, විදුලි කාර්මික සහ යාන්ත්‍රික ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්හි මෙන්ම විදුලි පනිවිඩ සේවා, මිනුම් සේවා, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හිද තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය සඳහා පහසුකම් සපයන ලදී. 1921 දී ආරමිභ කරන ලද ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන අංශයේ මුල්ම කේන්ද්‍රස්ථානය වූයේ ලංකා කාර්මික විද්‍යාලයේ විද්‍යා අංශය අවසානයේදී පත්විය.

1933 දී ලංකා කාර්මික විද්‍යාලය ප්‍රතිසංවිධානය කරන ලද අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ බාහිර උපාධිය සඳහා අපේක්ෂකයින් යොමුකිරීම අරඹන ලදී. 1950 වර්ශයේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය අරඹන තෙක්ම, මෙම තාක්ෂණික විද්‍යාලය මගින් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි සඳහා සතිපතා පන්ති පැවැත්වීමද නොකඩවා සිදු කරන ලදී. 1952 සිට 1960 වර්ෂය දක්වා ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය පේරාදෙනියෙහි පිහිටි එම විශ්ව විද්‍යාලයේ නව පරිශ්‍රය වෙත රැගෙන යන තෙක්ම ලංකා කාර්මික විද්‍යාලයේ වැඩහලෙහි පහසුකම් එම ඉංජිනේරු පිඨය විසින් සම්පූර්ණ වශයෙන්ම ප්‍රයෝජනයට ගන්නා ලදී..

1908 දී ලංකා කාර්මික විද්‍යාලය විසින් විද්‍යා සිසුන් සඳහා පන්ති ආරමිභ කරන ලද අතර කාලයාගේ ඇවෑමෙන් එය කළමණාකරන හා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ කේන්ද්‍රස්ථානය බවට පත්වන තෙක් ක්‍රමයෙන් විකාශයට පත්විය. වෘත්තීය මට්ටමේ ගණකාධිකරණය සඳහා සන්ද්‍යා පාඨමාලා 1943 දී අරඹන ලද අතර, උපාධි මට්ටමේ වානිජ විද්‍යා පූර්ණ කාලීන පාඨමාලාවද 1946 දී ආරම්භ කරන ලදී. 1951 දී තක්සේරු කරන පිළිබඳ වෘත්තීයමය පාඨමාලාවක් අරඹන ලදී. මීට අමතරව බ්‍රිතාන්‍යයේ වෘත්තීය ආයතනයන්හි ලේකම් වෘත්තීය, ගමනාගමනය සහ බැංකු වෘත්තීය යන විශේශිත අංශයන්හි බාහිර විභාග සඳහා පෙනීසිටි අය සඳහාද උපදෙස් සැපයීම පිණිස පන්ති පවත්වන ලදී. ගණකාධිකරණය, අලෙවිකරණය සහ ලඝුලේබණ විද්‍යාව පිළිබඳ මධ්‍ය මට්ටමේ පාඨමාලාද සම්පාදනය කරන ලදී.

1953 වර්ෂයේදී ලංකා කාර්මික විද්‍යාලයෙහි කලා සහ කලාශිල්ප අංශය රජයේ සෞන්දර්ය විද්‍යාලය නමින් වූ නව දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර පවරන ලදී. 1960 දී කටුබැද්දෙහි අලුතින් පිහිටුවන ලද ප්‍රායෝගික තාක්ෂණය පිළිබඳ පූර්ණකාලීන පාඨමාලාවන්ද පවරා දෙන ලදී. මෙම ආයතනය 1966 දී ලංකා තාක්ෂණික විද්‍යාලය වශයෙන් උසස්කරන ලද අතර, 1972 දී එය මොරටුව විශ්ව විද්‍යාලය ලෙස නම්කරන ලදී.

1957 දී පළමුවන කණිෂ්ඨ කාර්මික විද්‍යාලය ගාල්ල නගරයෙහි පිහිටුවන ලදී. සිංහල මාධ්‍යයෙන් වූ පාඨමාලා හඳුන්වාදීම නිසා මෙම වර්ෂය කාර්මික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලන අවස්ථාවක් ලෙස සලකනු ලබයි. මෙම පාඨමාලා අරඹන ලද්දේ ලඝුලේබණය, යතුරුලියනය හා පොත්තැබීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලා වශයෙනි. 1963 වන විට, ඩිප්ලෝමා පාඨමාලා පවා සිංහල මාධ්‍යයෙන් පැවැත්වීම ආරම්භ කරන ලදී.

කාර්මික විද්‍යාල පද්ධතියේ වර්ධනය සම්බන්ධයෙන් සුවිශේෂී අංගයක් වනුයේ ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු වෙසෙසින්ම 1956 සිට 1998 දක්වා කාලය තුලදී කාර්මික විද්‍යාල 32න් 31ක් ම පිහිටුවනු ලැබීමයි.

 

නූතන කාර්මික අධ්‍යාපනය

අද ශ්‍රී ලංකාව තුල කාර්මික විද්‍යාල 38 ක් ව්‍යාප්ත වී ඇත. මේ ආයතන මෙහෙයවනු ලබන්නේ කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ වන අතර එම දෙපාර්තමේන්තුව වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශයට අයිතිය.

මෙහි සියලුම කටයුතු නිසි කළමණාකාරිත්වයක් සහ අධ්‍යාපනය පෙරදැරි කරගත් වැඩසටහන් ක්‍රමයක් යටතේ කලාප 04 ක් යටතට පත්කරන ලදී.

මේ කලාප යටතෙහි වන සියලුම කාර්මික විද්‍යාලයන්හි මුලු අධ්‍යයන කාර්ය මණ්ඩලය 810 ක් පමන වේ. දැන් මේ වන විට කාර්මික විද්‍යාලයන්හි සේවය කරන සියලුම අනධ්‍යයන කාර්ය මණ්ඩලය 900 ක් පමන වේ.

කාර්මික විද්‍යාල සියල්ලේම සිටින සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීම හා වෘත්තීයමය දැනුම ලබාදීම සඳහා දේශීය හා විදේශීය අධ්‍යාපනික වැඩසටහන් වලට සම්බන්ධ කිරීම ඒ ඒ විෂයයන් වලට අනුව සිදුකරනු ලබයි. එංගලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, පිලිපීනය හා ඉන්දියාව යනාදී රටවල් එම අධ්‍යයන වැඩසටහන් සම්පාදනය කරන රටවල් සඳහා උදාහරන කිහිපයකි.

එංගලන්ත කවුන්සලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය, ජාත්‍යන්තර අධ්‍යයන සංවිධානය, ජාත්‍යන්තර ජපන් සහයෝගිතා සංවිධානය යන ආයතන මගින් මේ සඳහා ප්‍රතිපාදන මෙන්ම ශිෂ්‍යත්වද පිරිනමනු ලබයි. සී.පී.එස්.සී ආයතනය කෙටිකාලීන වැඩමුලු හා දැනුවත් කීරීමේ වැඩසටහන් සියලුම කාර්මික විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලබයි.

 

නිෂ්පාදන ඒකක

ඇතැම් කාර්මික විද්‍යාලවල දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන ඒකක පිහිටුවන ලද්දේ 1995දී ය. මේ කාර්යය කාලෝචිත වූත් සමාජයීය වශයෙන් වැදගත් වූත් කාර්යයක් බව දැන් හැගී ගොස් තිබේ. කාර්මික විද්‍යාලවලින් පාඨමාලා හදාරා පිට වී යන සමහර පුද්ගලයන් මෙම නිෂ්පාදන ඒකකවල සාර්ථක ලෙස සේවයේ යොදවා ගෙන ඇත.

කාර්මික විද්‍යාලවල නිෂ්පාදන ඒකක ඇති කිරීමේ මූලික අදහස වූයේ කාර්මික විද්‍යාලවල තිබෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් පෞද්ගලික අංශයේ සහ රජයේ ආයතන වල නිෂ්පාදන වලට සහ සේවාවලට දායකත්වය ලබාදීමට කාර්මික විද්‍යාල වලට හැකි වනු පිණිසයි. මෙම නිෂ්පාදන ඒකකවලින් අපේක්ෂා කරන තවත් ශුභවාදී දෙයක් නම් පාඨමාලා සම්පූර්ණ කොට පිට වී යන ශිෂ්‍යයනට විද්‍යාලයීය යන්ත්‍රාගාර තුළට පුහුණුවක් ලබා ගත හැකි වීමය.

 

ශිෂ්‍ය සංගම්

කාර්මික විද්‍යාල පද්ධතිය තුළ එහි දර්ශනය, මෙහෙවර, අරමුණු සහ පරමාර්ථ මුදුන් පත් කර ගැනීම්වස් පරිපාලනය සමඟ අත්වැල් බැඳ ගනිමින් ශිෂ්‍යයන් තුළ සාමූහික ප්‍රයත්නයක් ඇති කරනු පිණිස ශාස්ත්‍රීය, ක්‍රීඩා විනෝදමය සහ ශුභ සාධක පහසුකම් වැඩි දියුණු කිරීමේ අටියෙන් දෙපාර්තමේන්තුව ශිෂ්‍ය සංගම් පවත්වා ගෙන යාම දිරි ගන්වයි.

 

ශිෂ්‍ය වේතන සහ මූල්‍යාධාර

පවුලේ වාර්ෂික ආදායම රු.7500/- ට අඩු වූ පූර්ණකාල කාර්මික විද්‍යාල ශිෂ්‍යයනට දවසකට රු.20/- බැගින් වු (මසකට රු.450/-) වේතනයක් ගෙවනු ලැබේ.

මීට අතිරේකව පූර්ණ කාල ශිෂ්‍යයනට දැනට වර්ෂයකට රු.2500/- ක මූල්‍යාධාරයක් ගෙවනු ලැබේ. මේ කරුණු හේතු කොට ගෙන පාඨමාලා සඳහා ලැබෙන ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව වැඩිවී තිබෙන අතර පාඨමාලා අතර මගදී නවතා දමන ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් අඩු වී තිබේ.

 

වෘත්තීය මාර්ගෝපදේශ සහ උපදේශනය

අවුරුදු 100 ක් පැරණි කාර්මික අධ්‍යාපනයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩි කොට දියුණු තත්වයෙන් අනාගතයට ගෙන යාම සඳහා වෘත්තීය මාර්ගෝපදේශ සහ උපදේශන සේවය ඉතා වැදගත් වන බව දැනට පෙනී ගොස් තිබේ. අ.පො.ස(උසස් පෙළ) විභාගයට ශිෂ්‍යයන් 170,000ක් පමණ දැනට වාර්ෂිකව පෙනී සිටින අතර ඔවුන් අතුරින් ඒ ඒ විශ්ව විද්‍යාල වලට ඇතුළත් විය හැක්කේ ශිෂ්‍යයන් 12,500කට පමණි. ඉතිරි ශිෂ්‍යයන් 157,500 ට දෙනො කාර්මික හා වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන් රුකියා වෙළඳ පොළට සුදුසු තත්ත්වයට පත් කළ යුතු වේ.

විශ්ව විද්‍යාල වලට ඇතුළු විමට අවස්ථාවක් නොලැබීමෙන් කලකිරී සිටින තරුණ පිරිසට ආධාරයක් වශයෙන් වෘත්තීය මාර්ගෝපදේශ උපදේශන සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාව ප්‍රත්‍යක්ෂ වී තිබේ. 

 

 

 
අවසන් යාවත්කාලීන කිරීම 2017 දෙසැම්බර් 13 වෙනි බදාදා, 07:19